CEB | Knowledge Hub

ජල විදුලිබලාගාරයක මෙහෙයුම සිදුවනක්නේ කෙසේ ද?

‘ලක්‍ෂපාණ සංකීර්ණය’ ගැන දැනගනිමු

හඳුන්වාදීම

කෙහෙල්ගමු ඔය සහ මස්කෙලි ඔය ඔස්සේ ලක්ෂපාණ සංකීර්ණයේ විදුලි බලාගාර පහක් පිහිටා ඇති බැවින්, ලක්ෂපාණ සංකීර්ණය, කෙහෙල්ගමු – මස්කෙලි ඔය සංකීර්ණය ලෙස විස්තර කළ හැකිය. ජලාශයට ඉහළින් පිහිටි පෝෂක ප්‍රදේශයට ලැබෙන වර්ෂා ජලය එක්රැස් කරගන්නා මස්කෙලි ඔය මුදුන් කොටසේ පිහිටි ප්‍රධාන විශාල ජලාශය, කාසල්රී ජලාශය වේ. මස්කෙලි ඔය ආශ්‍රිත ප්‍රධාන ජලාශය, මාඋස්සාකැලේ ජලාශය වේ.

ක්‍රියාවලිය කෙටියෙන්

කාසල්රී ජලාශයට රැස් කරනු ලබන ජලය, එකක් මෙගාවොට් 25 බැගින් වන ධාරිතාවයෙන් යුතු ජල තලබමන විදුලි උත්පාදන යන්ත්‍ර (Hydro turbine-generators) දෙකක් ක්‍රියාත්මක කරවීම පිණිස, විදුලි උමගක්(power tunnel) දිගේ විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරය දක්වා පහතට ගෙන යනු ලබයි. තලබමන යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමෙන් පසු විමලසුරේන්ද්‍ර ජලාශයෙන් මුදා හරිනු ලබන ජලය විශාල ජලාශයක් නොවන උතුරු තටාකයේ රැස් කෙරේ. මෙගාවොට් 8.33 ධාරිතාවයකින් ඒකක තුනක් සහ මෙගාවොට් 12.5 ධාරිතාවයකින් යුත් ඒකක දෙකක් ලෙස, තල බමන විදුලි උත්පාදන යන්ත්‍ර ඒකක පහක් ක්‍රියාත්මක කරවීම පිණිස මෙම ජලය වෙනත් උමං මාර්ගයක් ඔස්සේ, පැරණි ලක්ෂපාන ජලවිදුලි බලාගාරය දක්වා ගෙන එනු ලැබෙයි. පැරණි ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමෙන් පසු මුදාහරිණු ලබන ජලය ලක්ෂපාන තටාකයේ රැස් කෙරේ.

මෙපරිද්දෙන්ම, මාඋස්සාකැලේ ජලාශයේ රැස් කරනු ලබන ජලය, එකක් මෙගාවොට් 30 ක් බැගින් වන කැනියොන් විදුලි බලාගාරයේ යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කරවීම පිණිස වෙනත් උමඟක් දිගේ පහළට ගෙන යනු ලැබෙයි. යන්ත්‍ර කියාත්මක කරවීමෙන් පසු මුදාහරිණු ලබන ජලය, කැනියොන් තටාකයේ එක්රැස් වේ. නව ලක්ෂපාන විදුලි බලාගාරයේ, එකක් මෙගාවොට් 50 ක් බැගින් වන යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කරවීම පිණිස, මෙම ජලය වෙනත් උමගක් දිගේ පහළට ගෙන යනු ලැබෙයි. පැරණි ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ යන්ත්‍ර මගින් සිදු කෙරෙන ආකාරයෙන්ම මෙම යන්ත්‍ර දෙක මගින් ද ලක්ෂපාන තටාකයට ජලය මුදාහරිණු ලැබෙයි.

ලක්ෂපාන ජලාශයේ රැස්කරණු ලබන ජලය, පොල්පිටිය, සමනල ජල විදුලි බලාගාරයේ ස්ථාපනය කර ඇති එකක් මෙගාවොට් 37.5 බැගින් වූ ටර්බයින් යන්ත්‍ර දෙකක් ක්‍රියාකරවීම සඳහා උමගක් දිගේ ගෙන යයි. සමනල බලාගාරයේ යන්ත්‍ර මගින් මුදාහරිණු ලබන ජලය, කෙහෙල්ගමු ඔය හා මස්කෙලිඔය මගින් නිර්මාණය වන කැළණි ගඟට ගලා බසියි.

ලක්‍ෂපාන සංකීර්ණය යටතේ ක්‍රියාත්මක ජලවිදුලි බලාගාරවල මෙහෙයුම් පිලිබඳ දැනගැනීමට

‘මහවැලි සංකීර්ණය’ ගැන දැනගමු.

අරමුණු

මහවැලි සංකීර්ණයේ මූලික අරමුණ වනුයේ, වාරිමාර්ග සහ වෙනත් ආකාරයෙන් පරිහරණය සඳහා ජලය බෙදාහැරීමයි. විදුලිබල උත්පාදනය දෙවන අරමුණ වේ. ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලය එක්ව, ආයතන දෙකටම සෙත සැලසෙන පරිදි හා අවසාන වශයෙන් රටට උපරිම ප්‍රතිලාභ අත්වන ආකාරයෙන්, මෙම ජලාශයන්හි ජල පරිහරණය පිළිබඳව සාමුහිකව තීරණය කරනු ලැබෙයි.

 

ක්‍රියාවලිය කෙටියෙන්

මහවැලි සංකීර්ණයේ ප්‍රථම ජලාශය වනුයේ, කොත්මලේ ජලාශයයි. කොත්මලේ විදුලි බලාගාරයේ එකක් මෙගාවොට් 67 ක් බැගින් වූ තල බමන උත්පාදන ඒකක තුනක් ක්‍රියාකරවීම පිණිස ජලය යොදා ගැනේ. යන්ත්‍ර ක්‍රියාකරවීමෙන් පසු මුදාහරිණු ලබන ජලය, කුඩා ප්‍රමාණයේ ජල තටාකයක් වන පොල්ගොල්ල හරස් අමුණ දක්වා ගඟ දිගේ ගලා බසියි. වාරිමාර්ග හා වෙනත් අරමුණු සඳහා පොල්ගොල්ල හරස් අමුණේ සිට උතුරු මැද පලාත කරා ජලය හරවා යවනු ලැබෙයි. උකුවෙල විදුලි බලාගාරයේ ස්ථාපනය කර ඇති මෙගාවොට් 20 බැගින් වන යන්ත්‍ර දෙකක් ක්‍රියාකරවීම පිණිස දීර්ඝ උමගක් දිගේ ජලය ගෙන යමින් මෙය සිදු කරනු ලැබෙයි. මෙම යන්ත්‍ර දෙක ක්‍රියාකරවීමෙන් පසු මුදාහරිණු ලබන ජලය, බෝවතැන්න ජලාශයට ගලා බසී. බෝවතැන්න ජලාශයේ සිට ඍජුව අනුරාධපුර දිස්ත්‍රික්කය කරා ජලය බෙදාහරිණු ලබන අතර බෝවතැන්න විදුලි බලාගාරයේදී මෙගාවොට් 40 ක ධාරිතාවයෙන් යුත් යන්ත්‍රයක් ක්‍රියාකරවීම පිණිස යොදා ගනු ලැබූ ජලය නැවත වරක් වාරිමාර්ග කටයුතු සඳහා බෙදාහැරීම පිණිස ඇලහැර අමුණ කරා යැවෙයි.

වර්ෂා ඍතුවේදී, පොල්ගොල්ල හරස් අමුණ මතින් ජලය පිරී උතුරා ගලන විට එම ජලය මහවැලි ගඟ දිගේ ප්‍රමාණයෙන් විශාල වික්ටෝරියා ජලාශය කරා ගලා බසියි. වික්ටෝරියා ජලාශයේ ජලය භාවිතයට ගනිමින්, වික්ටෝරියා ජල විදුලි බලාගාරයේ සවිකර ඇති මෙගාවොට් 70 ක් බැගින් වන ධාරිතාවයකින් යුත් ජලවිදුලි උත්පාදන යන්‍ත්‍ර තුනක් ක්‍රියාකරවයි. වික්ටෝරියා ජලවිදුලි බලාගාරයේ දී භාවිතයට ගැනීමෙන් පසු මුදා හැරෙන ජලය, මහවැලි සංකීර්ණයේ විශාලම ජලාශය වන රන්දෙනිගල ජලාශයට ගලා බසියි. රන්දෙනිගල ජලාශයේ ජලය, රන්දෙනිගල විදුලි බලාගාරයේ සවි කොට ඇති එකක් මෙගාවොට් 60 බැගින් වන යන්ත්‍ර දෙකක් ක්‍රියාකරවීම පිණිස යොදාගැනීමෙන් පසු රන්ටැඹේ ජලාශයට මුදා හරනු ලැබෙයි. මෙහි සඳහන් කළ රන්ටැඹේ යනු ජලාශයක් වන නමුදු එය, එහි ඇති ජලය හසුරුවන්නට හැකියාව ඇති, කුඩා ජල තටාකයක් වේ. රන්ටැඹේ ජලාශයේ සවිකොට ඇති, එකක් මෙගා වොට් 25 බැගින් වන ධාරිතාවයකින් යුත් යන්ත්‍ර දෙකක් ක්‍රියාකරවීම පිණිස රන්ටැඹේ ජල තටාකයේ ඇති ජලය භාවිතයට ගැනේ. රන්ටැඹේ ජලවිදුලි බලාගාරයෙන් මුදා හරණු ලබන ජලය, මිණිපේ අමුණ කරා යැවේ. අනතුරුව, මෙම ජලය, ගඟ පහළ වාරිමාර්ග කටයුතු සහ වෙනත් අරමුණු සඳහා යොදාගැනීම පිණිස, මිනිපේ ඇළ මාර්ගයන්හි දකුණු හා වම් ඉවුරු කරා බෙදා හරිනු ලබයි.

වැඩිදුර විස්තර සඳහා www.mahawelicomplex.lk වෙත පිවිසෙන්න.