CEB | Existing Customer

විදුලිය ඉතිරි කරමු!

අද වන විට අපට විදුලි බලය නොමැතිව ජීවත් වීමට නොහැකි තරමටම එය අපගේ එදිනෙදා ජීවිතයේ අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්වී තිබේ. විදුලිබලය සකසුරුවමින් යුතුව භාවිත කිරීම වැදගත් වන්නේ ද එහෙයිනි. ඒ සඳහා දායක වීමට ඔබට නිවසේදී විදුලිබලය ඉතිරි කළ හැකි ක්‍රමවේද කිහිපයකි මේ!

 

ආලෝකකරණයේදී...

  • CFL යනු අනර්ඝ අදහසකි!

ඔබ විසින් සාමාන්‍ය තාප දීප්ත විදුලි බුබුලක් වෙනුවට බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත (Energy Star Rated) සංයුක්ත ප්‍රතිදීප්ත පහනක් එනම් CFL බල්බයක් යොදන්නේ නම් එම බල්බයේ ආයු කාලය තුළ ඔබට රුපියල් 1000.00ක හෝ ඊට වැඩි මුදලක් විදුලි ගාස්තුවලින් ඉතිරි කරගැනීමට හැකිවනු ඇත. එමෙන්ම CFL විදුලි බුබුළු සාපේක්ෂව ඉතා වැඩි කාලයක් දැල්වීමට ද හැකි වන්නේය. (සාමාන්‍ය තාප දීප්ත විදුලි බුබුලක අපේක්ෂිත ආයු කාලය පැය 750ත් - 900ත් අතර වන නමුත් CFL බල්බයක අපේක්ෂිත ආයුකාලය සාමාන්‍යයෙන් පැය 8,000ක් පමණ වන බව පැවසේ) තවද, CFL බල්බ වල දීප්තිය ද සාමාන්‍ය තාප දීප්ත බල්බවලට වඩා තුන් හතර ගුණයකින් වැඩිය. ඔබටගේ නිවසේ ද දිනකට පැය තුනකට වඩා දැල්වෙන විදුලි බුබුලක් ඇත්නම් ඒ වෙනුවට CFL බල්බයක් යෙදීමෙන් බලශක්තිය ඉතිරි කරමින් ප්‍රතිලාභ ලැබීමට ආරම්භයක් ලබාගත හැකිය. මීට අමතරව ඔබගේ නිවසේ රේඛිය ප්‍රතිදීප්ත පහන් (එල්එෆ්එල්/ටියුබ් ලයිට්) ඇත්නම් ඒවා සඳහා වැය වන විදුලිය අඩු කර ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් බැලස්ට්ස් (electronic ballasts) යොදන්න

  • විදුලි බුබුළු පිරිසිදු කරන්න.

විදුලි බුබුළු හා සවිකරු (fixtures) දුහුවිලි හා අනෙකුත් අංශු බැඳීමට ලක්වන හෙයින් පිරිසිදු කළ යුතුය. පිරිසිදු විදුලි බුබුළුවලින් ලැබෙන දීප්තිය අපිරිසිදු විදුලි බල්බවලට වඩා වැඩිය.

  • දීප්තිමත්භාවය කළමනාකරණය කරන්න!

පොත් කියවීම හා ආහාර පිසීම වැනි සමීපව සිටිමින් යෙදෙන කාර්යයන් සඳහා භාවිත කරන ස්ථානයන් වලට දීප්තිමත් බවින් වැඩි විදුලි බුබුළු හෝ ඉලක්කගත ආලෝකකරණ (task lighting) භාවිත කරන්න. අනෙකුත් ප්‍රදේශ සඳහා අඩු දීප්තිමත් භාවයකින් යුක්ත විදුලි බබුළු භාවිතා කළ හැකිය.

  • ස්වභාවික ආලෝකයෙන් ප්‍රයෝජන ගන්න!

ස්වභාවික ආලෝකය ඉතා දීපත්මත් වන අතරම නොමිලයේම ඔබ වෙත ලැබෙන්නකි. එයින් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට බුද්ධිමත් වෙමු. උදාහරණයක් ලෙස ලිවීම් කියවීම් ආදී වැඩ කටයුතු සඳහා භාවිතා කරන මේස පුටු ආදිය ස්වභාවික ආලෝකය වැටෙන ජනේලයක් අසලට රැගෙන ආවේ නම් දහවල් කාලයේ එම කාර්යයන් සඳහා විදුලි බුබුළු භාවිත කිරීමේ අවශ්‍යතාවයක් තවදුරටත් ඇති වන්නේ නැත. එමෙන්ම බිත්ති, වහල සහ බිම සඳහා ලා පාටින් යුතු වර්ණ භාවිත කිරීමෙන් ආලෝකය වඩ වඩාත් පරාවර්තනය වන අතර, එමගින් ස්වභාවික ආලෝකයෙන් උපරිම ඵල නෙලාගත හැකිය.

  • හැලොජන් ලාම්පු සහ චලන සංවේදක!

නිවසෙන් පිටත ධාරා ආලෝකකරණ අරමුණු සඳහා සම්ප්‍රදායික පරාවර්තක බල්බ (ස්ටෑන්ඩ්‍රඩ් රිෆ්ලෙක්ටර් බල්බ්) වෙනුවට හැලජන් ලාම්පු භාවිත කරන්න. වොට් 50 හෝ 90 හැලජන් ලාම්පුවක් යෙදීමෙන් ඊට වඩා දෙගුණයක විදුලියක් වැය කරන සම්ප්‍රදායික පරාවර්තක බල්බයක් ඉවත් කළ හැකිය. එමෙන්ම චලන සංවේදක (Motion detecters) භාවිතයෙන් අවශ්‍ය විටදී පමණක් විදුලි බුබුළු දැල්වීමට සැලැස්වීම මගින් බලශක්තිය සහ මුදල් දෙකම ඉතිරි වේ.

 

විදුලි උපකරණ හා මෙවලම් භාවිතයේ දී...

  • විදුලි උපකරණ සියල්ල භාවිතයෙන් පසු පේනු වලින් ඉවත් කර තබන්න!!!

පරිගණක, රූපවාහිනී යන්ත්‍ර, සංයුක්ත තැටි ධාවක, (සීඩී/ඩීවීඩී/බ්ලූරේ ප්ලේයර්) කේබල් පෙට්ටි, කැසට් ඩෙක් යනාදී වර්ගවල ඇතැම් උපකරණ සූදානම් තත්ත්වයේ (standby) යොදවා තිබුණ ද විදුලිය පරිභෝජනය කරන බව ඔබ දන්නවා ද? ඇතැම් විදුලි උපකරණ ඒවායේම ඇති ස්විචයෙන් ක්‍රියා විරහිත කළ ද පේනුව(ප්ලග්) දිගටම කෙවෙනි පිටුවානට (අවුට්ලට්) සම්බන්ධ කර සැපයුම ලබා දී ඇත්නම් විදුලිය දිගටම පරිභෝජනය කරන අවස්ථා ද ඇත. එහෙයින් ඔබ එබඳු උපකරණ භාවිත නොකරන විටදී, නිවසෙන් පිටව යන අවස්ථාවලදී හා නිවාඩු චාරිකා ආදී කටයුතු සඳහා බැහැරව යන විට විදුලි උපකරණ පේනුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් මනාය.

  • රෙදි සේදීමේ යන්ත්‍ර සඳහා නිවැරදි ප්‍රමාණයන්ගෙන් බර (රෙදි), ජලය, සේදුම්කාරක ද්‍රව්‍ය හා උෂ්ණත්වය යෙදීමට කටයුතු කරන්න.

සේදුම් යන්ත්‍රයේ ධාරිතාවය ඉක්මවා බර යෙදීම සිදු නොකරන්න. නියමිත ධාරිතාවය ඉක්මවා බර යෙදීම හේතුවෙන් කාර්යක්ෂමතාවය අඩුවිය හැකිය. එහෙයින් අදාල ධාරිතාවයට බර යෙදීමට කටයුතු කරන්න. සේදුම් යන්ත්‍රවල ඇති ජල මට්ටම පාලනය කිරීම (Water level control) භාවිත කරන්න. අඩු රෙදි ප්‍රමාණයක් සඳහා අඩු ජල ප්‍රමාණයක් යොදන්න. නිවැරදි ජල උෂ්ණත්ව මට්ටම භාවිත කරන්න. සීතල ජලයෙන් රෙදි සේදීම පිරිසිදු වීමේ ප්‍රතිඵලයන්ට වෙනසක් ඇති නොකරයි. එනමුත් එය රෙදි හැකිලීම අඩු කිරීමට හේතුවක් විය හැකිය. සේදුම්කාරක භාවිතයේදී අදාල උපදෙස් පිළිපැදීමට සැළකිලිමත් වන්න. නියමිත ප්‍රමාණ ඉක්මවා වැඩි සබන් ප්‍රමාණයක් යෙදීම සේදුම් යන්ත්‍රයේ මෝටරය ආයාසයෙන් ධාවනය වීමට වීමට හේතු ඇතිකරයි. තවද, සාපේක්ෂව සියුම් රෙදි සේදීමේදී, වැඩ කිරීමට භාවිතා කරන දැඩි ලෙස අපිරිසිදු වන රෙදි තරම් සේදුම් වාර ගණනක් වැය කිරීම අවශ්‍ය නොවන බව සිහිතබාගන්න. එහෙයින් හැකිනම් ඒවා වෙනම හෝ අතින් සෝදන්න. රෙදි වියළනය අත්‍යාවශ්‍ය නම් පමණක් භාවිතා කරන්න, රෙදි හිරු එළියෙන් රෙදි වේලා ගැනීම පිළිබඳ සළකා බලන්න. රෙදි වියළනයේ ස්වයංක්‍රීය ධාවන වාර (automatic cycle) ඇත්නම් එය භාවිතා කරන්න. ප්‍රමාණය ඉක්මවා රෙදි වියළනය ක්‍රියා කරවීම බලශක්තිය අපතේ යෑවීමක් මෙන්ම ඔබේ රෙදිවලට ද අහිතකරය. සෑම වේළුම්වාරයක්ම අවසානයේ රෙදි වියළනයේ කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම සඳහා එහි ඇති ප්‍රේරණය (lint filter) පිරිසිදු කිරීමට සිහිතබා ගන්න.

  • සියළු ඇඳුම් එකවර මැදගන්න!

මදින විට ස්ත්‍රික්කයේ මුහුණත කෙලින් අතට තබන්න.

  • වායුසමීකරණවලට වඩා විදුලි පංකා භාවිතය සළකා බලන්න!

වායුසමීකරණවලට වඩා අඩු විදුලියක් භාවිතා කරනු ලබන විදුලි පංකා හැකි අවස්ථාවන්වලදී වායුසමීකරණවලට විකල්පයක් ලෙස භාවිත කිරීමට සළකා බලන්න. පාදස්තල විදුලි පංකා (පෙඩෙස්ටල් ෆෑන්) සහ මේස විදුලි පංකා (ටේබල් ෆෑන්) සඳහා භාවිත වන්නේ සීලිම් මත සවි කරනු ලබන විදුලි පංකාවලට වඩා අඩු විදුලියකි. වායුසමීකරණ භාවිතා කරන විටදී හැකි සෑම විටකදීම එහි ඇති පංකා විධානය (ෆෑන් සෙටිං) භාවිත කරන්න. එමෙන්ම වායු සමීකරණය ක්‍රියාත්මක වන විට ජනෙල් වසා තබන්න. වායු සමීකරණයේ ඇති ස්වයංක්‍රීය වේලා මුහුර්තය (ටයිමර්) භාවිතා කර ඔබ වායු සමීකරණය භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන වේලාවට විනාඩි 30කට කලින් එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට විධානය සකසන්න. (විනාඩි 30ක කාලය නොඉක්මවිය යුතුය.) වායු සමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 මට්ටමේ තබාගන්න. ඔබ උෂ්ණත්වය තව තවත් අඩු කරන්නේ නම් ඒ සඳහා වැය වන විදුලිය ද සාපේක්ෂව ඉහළ යයි වෙයි.

  • ශීතකරණය පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වමු!

ඔබේ ශීතකරණ යන්ත්‍රයේ සාමාන්‍ය සීත කරන කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3° සිට 4°C දක්වා අගයක ද, අධිශීතකරණයේ (ෆ්‍රීසර්) උෂ්ණත්වය ඍණ 15° සිට 10°C දක්වා අතර අගයක ද පවත්වා ගන්න. පැරණි ශීතකරණ මාදිලි සඳහා උෂ්ණත්වමානයක් (තර්මෝ මීටරයක්) භාවිතයෙන් උෂ්ණත්වය පරික්ෂා කර බැලිය හැකිය. පංකාවල හිඩැස් හා පසුපස ඇති කොයිල් දුහුවිලි බැඳීමකින් තොරව පිරිසිදුව තබාගැනීමට කටයුතු කරන්න. එම කොයිල් අපිරිසිදු වන විට ශීතකරණයේ සම්පීඩකයට (කම්ප්‍රෙසර්) ක්‍රියාත්මක වීමට දැඩි ආයසයක් දැරීමට සිදුවන අතර, එහිදී වැඩි විදුලියක් භාවිත කිරීමද සිදුවෙයි.

ශීතකරණයේ දොර වටා යොදා ඇති ප්ලාස්ටික් පටිය (වාවුරුව නොහොත් ගෑස්කට් ලෙස හඳුන්වන) වායුව පිටවීමකට හෝ ඇතුළුවීමකට ඉඩක් ඇති නොවන පරිදි මනා වූ වායුරෝධක භාවයකින් (එයාටයිට්) සහ හොඳ තත්ත්වයකින් ඇති බවට වගබලාගන්න. අවශ්‍ය වුවහොත් එය ඔබටම අලුත්වැඩියා කරගැනීමට හෝ නැවත සුදුසු ගම්වර්ගයක් යොදා ඇලවීමට හැකිවනු ඇත. එසේත් නොමැති නම් නිෂ්පාදකයාගෙන් හෝ හාර්ඩ්වෙයාර් අලෙවිසැලකින් අලුත් එකක් ලබාගත හැකිවනු ඇත. අඟල් කාලකට (0.25") වඩා අයිස් මිදුනහොත් එය දියකර හැරීමට කටයුතු කරන්න. ශීතකරණය පුරා පහසුවෙන් වායුව සංසරණය වන පරිදි භාණ්ඩ තැබීමට කටයුතු කරන්න. එමෙන්ම දියර වර්ග සීත කිරීමේදී මූඩි හොඳින් වැසීමට කටයුතු කරන්න. නොඑසේ නම් ශීතකරණය තුළ ආර්ද්‍රතාවය (හියුමිඩිටි) ඉහල යාම නිසා සම්පීඩකයට (කම්ප්‍රෙසර්) ක්‍රියාත්මක වීමට දැඩි ආයාසයක් දැරීමට සිදු වෙයි. හැකි සෑම විටම ශීතකරණයේ දොර වසා තබන්න. භාණ්ඩ ක්‍රමවත්ව ශීතකරණයේ ඇසිරීම මගින් ඒ ඒ භාණ්ඩ පවතින ස්ථාන පිළිබඳ දැනීමක් ඇති වන අතර නැවත ගැනීමේදී දොර විවෘත කරගෙන සිටීමට සිදුවන කාලය අවම කරගැනීමට උපකාරී වෙයි. ආර්ද්‍රතාවය ඉහළ දිනයන්වල ඔබේ ශීතකරණයේ ''Power Saver'' බොත්තමක් ඇත්නම් එය භාවිතා කරන්න. එහිදී කුඩා තාපක (හීටර්) ක්‍රියාත්මක වී ශීතකරණයේ පිටත තෙත් සහිත ස්වභාවයක් ඇතිවීම වළකයි. සාමාන්‍ය දිනවලදී එම බොත්තම ක්‍රියා විරහිත කළ යුතුය. අධිශීතකරණයේ තැබූ යම් භාණ්ඩයක සීතභාවය අඩුකරගැනීමට අවශ්‍ය විටදී එය පිටතින් තැබීම වෙනුවට සාමාන්‍ය ශීතකරණ කොටසින් තැබීමෙන් අධිශීතකරණයට ලක්වූ එම භාණ්ඩය විසින් සාමාන්‍ය ශීතකරණ කොටස සිසිල්ව තබා ගැනීමට උදව් වන්නේ ඒ සඳහා අමතර බලශක්තියක් වැය කිරීමකින් තොරවය.

 

මුළුතැන්ගෙයිදී...

  • කාර්යක්ෂමතාවය ඉතා වැදගත් වේ!
    කාර්යක්ෂමතාවයෙන් ඉහළ පිසීමේ උපකරණ භාවිතා කරන්න. පීඩන උඳුන් (ප්‍රෙෂර් කුකර්) මගින් ආහාර පිසීමට ගතවන කාලය තුනෙන් දෙකක් පමණ අඩු වෙයි. මයික්‍රොවේව් උපකරණයක් සඳහා වැය වන බලශක්තිය සම්ප්‍රදායික විදුලි අවනයකට වඩා අඩකටත් අඩුය. අවනය භාවිතා කිරීමේදී ආහාර වර්ග එකවර පිසගන්න. වෙන් වෙන් ආහාර පිසීම සඳහා වෙනස් උෂ්ණත්වයන් අවශ්‍ය වන්නේ නම් අවනය දෙවතාවක් ක්‍රියාත්මක කරනවා වෙනුවට උෂ්ණත්වය අදාල පරිදි මැදි අගයකට සකස් කරන්න.

  • බඳුන්වල පියන් වසා ආහාර පිසින්න!
    උදාහරණයක් ලෙස, ඔබ යම් ආහාර වර්ගයක් පියන වැසීමෙන් තොරව පිසිනු ලබන්නේ නම් ඒ සඳහා තුන් ගුනයක බලශක්තියක් වැය විය හැකිය. එමෙන්ම අවනය ක්‍රියාත්මක වෙමින් තිබියදී වරින් වර විවෘත කිරීමෙන් හැකිතාක් වළකින්න. දොර අරින සෑම වතාවකම විශාල උෂ්ණත්වයක් පිටවී යයි.

  • අතින් රෙදි සේදීම හා බලශක්තිය ඉතිරි කරන සේදුම් වාර ක්‍රම භාවිත කරන්න!
    සියුම් රෙදි සේදීමේදී ඒ සඳහා වැඩකිරීමට භාවිතා කරන බෙහෙවින් අපිරිසිදු වන රෙදි සේදීමට තරම් දීර්ඝ සේදුම්වාරයක් අවශ්‍ය නොවන බව සිහිතබා ගන්න. බොහොමයක් සේදුම් යන්ත්‍රවල බලශක්තිය ඉතිරි කරන සේදුම් වාර ක්‍රමයන් තිබෙන අතර ඒ සඳහා වැය වන්නේ අඩු විදුලියකි. එම සේදුම්වාර භාවිතා කිරීමෙන් විශාල ඉතිරියක් කරගත හැකිය. රෙදි වියළනය භාවිත කිරීමේදී, සෑම වේළුම්වාරයක්ම අවසානයේ එහි කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රේරණය (lint filter) පිරිසිදු කිරීමට කටයුතු කරන්න.

  • බුද්ධිමත් ලෙස සේදුම් යන්ත්‍රය භාවිත කරමු!
    රෙදි සුළු ප්‍රමාණයක් සෝදා ගැනීම සඳහා සේදුම් යන්ත්‍රය භාවිතා කිරීමෙන් වළකින්න. උෂ්ණත්වයෙන් තොර වායු වියළන අංගය (No-heat Air dry) ඇතැම් සේදුම් යන්ත්‍රවල තිබෙන අතර එමගින් 15%ත් 50%ත් අතර බලශක්ති ඉතිරියක් කරනු ලැබෙයි. ඔබ සතුව ඇත්තේ පැරණි මාදිලියක සේදුම් යන්ත්‍රයක් නම්, අවසාන සේදුම් වටය අවසන් වූ පසු සේදුම් යන්ත්‍රය ක්‍රියා විරහිත කර දොර විවෘත කර තැබීමෙන් වාතය ප්‍රයෝජනයට ගනිමින් රෙදි වේලා ගැනීමට ඉඩලැබෙයි...